වාහන හොරු අල්ලන මෙහෙයුමේදී කුරුණෑගල එස්‌.අයි වෙඩි වැදී මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

වාහන හොරු අල්ලන මෙහෙයුමේදී කුරුණෑගල එස්‌.අයි වෙඩි වැදී මරුට


වාහන හොරු අල්ලන මෙහෙයුමේදී
කුරුණෑගල එස්‌.අයි වෙඩි වැදී මරුට

වාහනයක්‌ සොරාගත් පිරිසක්‌ කුරුණෑගල මාස්‌පොත ප්‍රදේශයේ පැරඩයිස්‌ නමැති හෝටලයක ලැගුම් ගෙන සිටින බවට පෙරේදා රාත්‍රි 10 ට පමණ 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණ තොරතුරක් ඔස්සේ කුරුණෑගල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී කොල්ලකරුවන් පළායන්නට උත්සාහ දරද්දී සිදු කළ වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකයෙකුට වෙඩි වැදී මියගොස් තිබේ.
රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි
පොලිස් කණ්ඩායමට මෙම සැකකටයුතු අය පිළිබඳව පරීක්‍ෂා කරන ලෙස පොලිසිය  දැනුම් දී ඇත. ඒ අනුව උප පොලිස්‌ පරීක්‍ෂක දසනායක මහතා ඇතුළු නිලධාරීන් පැරඩයිස්‌ හෝටලය වෙත ගොස්‌ එහි කාමරයක නිදා සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු අවදි කර ඔවුන් පරීක්‍ෂා කර තිබේ.


මෙම පුද්ගලයන් පැමිණි මෝටර් රථයට අදාළ ලියකියවිලි පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් සෑහීමට පත් නොවූ අතර, එම රථය පොලිසියට රැගෙන යැමට සූදානම් වී ඇත.
ඒ අවස්‌ථාවේ එහි සිටි එක්‌ සැකකරුවකු අඳුරේම පලා ගොස්‌ ඇති අතර, අනෙක්‌ පුද්ගලයා ද පලා යැමට උත්සාහ කර තිබේ. එහිදී පොලිස්‌ නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී ඔහු ඉනේ සඟවාගෙන සිටි පිස්‌තෝලයෙන් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා ඇත.
වෙඩි ප්‍රහාරයෙන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයා සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගිය අතර අනෙක්‌ නිලධාරීන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම වෙඩි තැබීම සිදු කළ කොල්ල කල්ලියට සම්බන්ධ එක්‌ සාමාජිකයකු බස්‌ රථයක නැගී පලා යැමට උත්සාහ කරද්දී ඊයේ අලුයම එම කොල්ලකරු කුරුණෑගල වැව ආසන්නයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්‌ නිලධාරියාට වෙඩි තැබූ අනෙක්‌ කොල්ලකරුවා පිස්‌තෝලය ද රැගෙන පලාගොස්‌ ඇති අතර ඔහු ඊයේ සවස්‌ වන තුරුම අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
මොවුන් වාහන පැහැර ගැනීම් කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ කණ්‌ඩායමක්‌ බව පසුව සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
කොල්ලකරු සිදුකළ වෙඩි තැබීමෙන් මියගොස්‌ ඇත්තේ 59 හැවිරිදි රත්න බණ්‌ඩා දසනායක මහතාය. කුරුණෑගල මදුරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දසනායක මහතා ලබන වසරේ ජනවාරි මාසයේදී පොලිස්‌ සේවයෙන් විශ්‍රාම යැමට නියමිතව සිටි අයෙකි.
මෙහිදී තුවාල ලැබූ සැරයන් (58677) බණ්‌ඩාර සහ කොස්‌තාපල් රියෑදුරු (89743) සුබසිංහ යන මහත්වරු කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ සුබසිංහ මහතාගේ වකුගඩුවකට බරපතළ හානි සිදු වී ඇති අතර, ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්‌ථාවේ උප පොලිස්‌ පරීක්‍ෂක දසනායක ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ආයුධ සන්නද්ධව සිට ඇත. එහෙත් අනපේක්‍ෂිතව මෙම වෙඩි ප්‍රහාර එල්ල වීම නිසා එම නිලධාරීන්ට සන්නද්ධ පුද්ගලයාට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අවස්‌ථාවක්‌ ලැබී නැත.


කොල්ලකරුවන් මාස්‌පොත පැරඩයිස්‌ හෝටලය වෙත පැමිණ තිබූ මෝටර් රථය පොලිස්‌ භාරයට ගත් අතර එම වාහනය කුලී පදනම මත වාහන ලබා දෙන ආයතනයකින් පැහැරගත් එකක්‌ බව පසුව හෙළිවිය.
කොල්ලකරුවන් මෙම මෝටර් රථය මසකට රුපියල් එක්‌ලක්‍ෂ විසිදහසක කුලී පදනම මත ලබාගෙන තිබූ අතර, පසුව ඊට මුදල් නොගෙවා තම පාවිච්චියට රැගෙන ගොස්‌ තිබූ බව පොලිසිය පවසයි.
වාහන කුලියට ලබා දෙන ආයතනයේ හිමිකරුවන් එම මෝටර් රථයේ ජීපීඑස්‌ යන්ත්‍රයක්‌ සවිකර තිබූ අතර වාහනය රඳවා ඇති ස්‌ථානය ඔවුන් ඒ මාර්ගයෙන් හඳුනාගෙන තිබිණි.
 පැරඩයිස්‌ හෝටලයේ කාමරය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්‌තෝලයක්‌, ජීව උණ්‌ඩ තොගයක්‌ සහ ඇඳුම් බෑග් දෙකක්‌ පොලිසිය මගින් සොයා ගන්නා ලදී.
මෝටර්රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ජංගම දුරකථන 16 ක්‌, කාන්තා බෑගයක්‌. ජීව උණ්‌ඩ තොගයක්‌ සහ ව්‍යාජ වාහන අංක තහඩු හතරක්‌ සොයා ගෙන ඇත.
පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී පලා ගිය වෙඩි තැබූ පුද්ගලයා මාතර තුෂාර නමැත්තකු බව හඳුනාගෙන තිබේ. ඔහුව අල්ලාගැනීමට මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.

තොරතුරු - හේමන්ත රන්දුණු සහ ආර්. එම්. ඩබ්ලිව්. බණ්‌ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad