විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 7, 2016

විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි

විග්නේෂ්වරන් අමතර ආරක්ෂාවක් ඉල්ලීමට හේතුව හෙළිකරයි

තමන්ගේ ජීවිතය දැඩි අනතුරකට පත්ව රජයෙන් අමතර ආරක්ෂාවක් පවා ඉල්ලීමට සිදුවූයේ ඇතම් මාධ්‍යකරුවන් වැරදි හා විකෘති අන්දමට ප්‍රවෘත්ති පළ කිරීම නිසා බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 06 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් 'දෙමළ ජනතා විමුක්ති පෙරමුණ' නමැති (මෙතෙක් ලියාපදිංචි නොකළ) දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් මහතා විසින් යාපනයේදී ආරම්භ කළ 'කාලෙයි කදිර්' නම් පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා කියාසිටියේ මාධ්‍යකරුවන් සෑමවිටකම ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු සැපයීම තම වගකීම බව පිළිගත යුතු බවයි.

උතුරු පළාතෙන් බුදු දහම සහ බුදු පිළිම ඉවත් කරන ලෙස තමන් නියෝග කළ බවට දකුණේ මාධ්‍ය වාර්තා කිරීම නිසා තමන්ගේ ජීවිතයට අවදානමක් ඇතිවූවා මෙන්ම තමන්ට දකුණේ සිටි ඉතා වැදගත් මිතුරන් විශාල පිරිසක් අහිමි වීමටත් මෙම වැරදි මාධ්‍යකරණය හේතුවූ බවත් මාධ්‍යකරුවන් මුදලටත් ජනප්‍රියභාවයටත් වහල් වී සෙසු අයගේ ජීවිත වනසා දැමීම සදාචාරාත්මක නොවන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම මාධ්‍යකරුවන් ඉතාම සමබර වියයුතු බවත් නිරන්තරයෙන්ම දැනුම වර්ධනය කරගත යුතු පිරිසක් මිස සියල්ල දත් පිරිසක් ලෙස සිතා කටයුතු කිරීම මුළු රටටම මෙන්ම මාධ්‍යකරුවාට ද විනාශයක් ගෙන දෙන තත්ත්වයක් බවත් අවධාරණය කරගත යුතු බව කී ප්‍රධාන අමාත්‍යවරයා විශේෂයෙන්ම උතුරේ මාධ්‍යවේදීන්ට ඉතාම කල්පනාකාරීව මාධ්‍ය වාර්තාකරණයේ නිරතවන මෙන් තමන් ඉල්ලා සිටින බවද කියාසිටියේය.

උතුරේ මාධ්‍යවේදීන් පළ කරන ප්‍රවෘත්තීන් දකුණේ මාධ්‍ය විසින් දේශපාලන වුවමනාවන්ට හා ආගමික අවශ්‍යයතාවයන්ටත් ජාතිවාදය වෙනුවෙනුත් විකෘති කිරීම්වලට ලක් කරන බැවින් උතුරේ මාධ්‍යකරුවන් ඉතා නිරවුල්ව හා පැහැදිලිව මාධ්‍යකරණයේ නිරතවිය යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

වන්නි -  රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad