නව පක්‍ෂය

අළුත් පක්‍ෂයක් පිහිටුවලා. අඩු තරමෙන් පරණ පක්‍ෂයක් වෙනත් නමකින් අලුත් සභාපති කෙනකු සහිත ව ලියා පදිංචි කරලා. පක්‍ෂයක් පිහිටුවන කොට ගණ හා වෙනත් දේ බලන්න ඕන. යහපත් සිතකින් කරන්න ඕන. 

පක්‍ෂය දොරට වඩින්නේ කවදා ද කියා පැහැදිලි නැහැ. සුබ නැකැත් තියෙන දවසක් තෝරාගන්න ඕන. හොඳ නැකතකින් කෙරෙන්න ඕන. පක්‍ෂයේ අරමුණ විය යුත්තේ ලංකාවේ ඒකීය භාවය සුරුකීම, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබාගැනීම, බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය හා එය විසින් ඇති කෙරී පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කිරීම, නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කර දහතුන්වැනි සංශෝධනය අහෝසි කිරීම, රටට ගැලපෙන සංවර්ධනයක් ඇති කිරීම, රණ විරුවන් ආරක්‍ෂා කිරීම ආදියයි.


ඒ කළ හැක්කේ ජාතිකත්වය ඇති පුද්ගලයන්ටයි. ජාතිකත්වය යනු බුද්ධියෙන් ලබාගන්නා දෙයක් නොවෙයි. ඒසේ බුද්ධියෙන් ලබාගන්නේ ලාංකික වැනි බටහිර ක්‍රිස්තියානි සංකල්පීය ජාතිකත්වයක්. එය හුදු නෛතික තත්ත්වයක් පමණයි. ජාතික රාජ්‍ය කියන එක බටහිර ඇති වූ බුද්ධිමය සංකල්පයක්. එංගලන්තයේ මිනිසුන් බහුතරය ඉංගිරිසිකාරයන් ලෙස මිසක් එක්සත් රාජධානි කාරයන් ලෙස සිතන්නේ නැහැ. 

ඉංගිරිසිකම ඉංගිරිසින්ගේ ඇඟේ තිබෙනවා. එක්සත් රාජධානිකම සමහරුන්ගේ බුද්ධියේ තිබෙනවා. මෙරට සිංහල ජාතිකත්වයත් තිබෙන්නේ ඇඟේ. ජී එල්ගේ ඇඟේ සිංහලත්වය දැන් තිබෙනවා නම් හොඳයි. ඉස්සර තිබුනෙ නැහැ. ජාතිකත්වය මොඩ් කරන්න සමහර පඬියන් කතාකරනවා. මොඩ් කිරීම කියන්නෙ ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවීමක්. 

මොඩ් කරනවා කියන්නෙ මොඩර්නයිස් කියන එක. එය බටහිර ආකෘතියේ ඊනියා ජාත්‍යන්තරකරණයක්. බුද්ධාගම මොඩ් කරලා ඊනියා බෞද්ධ පඬියන්. ඕල්කට් බෞද්ධයන් වූ ඔවුන්ට ජාතිකත්වයක් නැහැ.
මා ඇතුළු කිහිප දෙනකු පසුගිය 2015 අගෝස්තු මහමැතිවරණයට කලින් ජී එල්ගේ ගෙදරට ම ගොස් සංධානයේ නායකයන් කිහිප දෙනකු හමුවුණා. එහි දී අපට ජී එල් මෙන් ම, ඩලස්, බන්දුල හා විමල් ද හමුවුණා. 

අප ඔවුන්ට කියා සිටියේ සංධානය නැතිව වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට තරග කරන ලෙස. ඔවුන් අපේ කීම සතපහකට ගණන් ගත්තේ නැහැ. අප ඔවුන් වටේ කැරකුණ පුද්ගලයන් නොවෙයි. මෙරට රනිල් හැරෙන්න අනෙක් සිංහල දේශපාලනඥයන් කන් දෙන්නේ තමන් වටේ කැරකෙන අයට පමණක් බව මා අවුරුදු තිහකට වැඩි කාලයක් තිසසේ දන්නවා. ඒත් මට දේශපාලනඥයන් වටේ කැරකෙන්න බැහැ. 

මහින්ද හා මෛත්‍රිපාල අතර ඉදිරියේ ඇතිවීමට තිබූ සමගියක් ගැන අර නායකයන් බලාපොරොත්තු තබාගෙන හිටියා. රනිල් අනෙක් සිංහල දේශපාලනඥයන්ගෙන් වෙනස් වන්නෙ ඔහුට සුළු සිංහලකමක්වත් නැති නිසා. ඔහු දේභපාලනය කරන්නෙ පෞද්ගලික අවශ්‍යතාවන් උඩ නොවෙයි. රට වෙනුවෙන්වත් නොවෙයි. ඔහු දේශපාලනය කරන්නෙ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ලෝකය වෙනුවෙන්. 

ඔහු හොරකම් කළත් ඒ කරන්නෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නියෝජනය කරන පක්‍ෂය වෙනුවෙන්. හොරකමක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කළොත් එය බුද්ධාගමට පහරක් වෙන්නෙ කොහොමද කියලා ඔහු අහන්නෙ ඒ නිසයි. ඔහු පසුපස බටහිර යුදෙවු ක්‍රිස්තියානි ලෝකය ම ඉන්නවා. නව පක්‍ෂයට කටයුතු කරන්න වෙන්නෙ ඔහු සමග. නව පක්‍ෂයත් උපදෙස් ගන්නෙ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ ඊනියා දේශපාලන විචාරකයන්ගෙන් නම් රනිල් පරද්දන්න බැහැ. 

අපට අපේ දැනුමක් අවශ්‍ය කියලා මා අවුරුදු තිහක් තිස්සෙ කියන්නෙ බටහිරයන්ගෙන් නිදහස් වෙන්න. නව පක්‍ෂයෙ නායකයන් ජාතිකත්වය නැති අය නම් එයින් රටට වැඩක් වෙන එකක් නැහැ. නව පක්‍ෂයෙ නායකයන් පුද්ගලික අවශ්‍යතාවන් පවුල් අවශ්‍යතාවන් යටපත් කරලා රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරන්න ඕන. පවුල සිංහලකමේ වැදගත් අංගයක්. ඒ්ත් සිංහලකම ඒකට සීමාකරන්න බැහැ. 

පවුල ගැන හිතල කටයුතු කළ අවස්ථාවල ඉතිහාසයෙ සිංහලයන්ට අවාසිවෙලා තිබෙනවා. සිංහල සංස්කෘතියේ නැති රනිල්ට පෞද්ගලික පවුල් අවශ්‍යතාවන් නැහැ. ඔහු වැඩ කරන්නෙ එංගලන්තෙ දේශපාලනඥයෙක් වගේ. ඔහු බටහිර නීතිය වගේ ම නීතියේ හිලුත් දන්නවා. බෑංකු කොල්ලයට අර්ජුන් මහේන්ද්‍රන්වත් වැරදිකරුවකු වෙන එකක් නැහැ.

කෙසේ වෙතත් පසුගිය වසරෙ නව පක්‍ෂයක් ගොඩ නැගුණේ නැහැ. අද ඒකාබද්ධ විපක්‍ෂය නමින් පෙනී සිටින අයත් සංධානයෙන් ම තරග කළා. බොහෝ දෙනාගේ ඉල්ලීම වූනේ මැතිවරණයෙන් පසු මහින්ද අගමැති කිරීමයි. ඒත් ඔහුට ඇමතිකමක්වත් නොදෙන බව මා කලින් ම කිවුවා. මෛත්‍රිපාල මැතිවරණයට ඔන්න මෙන්න තිබිය දී මහින්ද අගමැති ලෙස පත්නොකරන බව කිවා. සංධානයේ ලේකම්වත් මාරු කළා. 

මහජනයා වික්ෂිප්ත වූවා. පසු බැවා. ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ලක්‍ෂ දහයක් පමණ මහාමැතිවරණයේ දි ඡන්දය දෙන්න ගියේ නැහැ. මේ අයගෙන් අති විශාල පිරිස සංධානයට ඡන්දය දීමට සිටි අය බව නිසැකයි. මැතිවරණ ප්‍රතිඵලවලින් ඒ බව පෙනුණා. මහින්ද ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා ලක්‍ෂ දහයක් පමණ අඩුවෙන් සංධානයට ලැබුණේ. එහෙම වෙලත් සංධානයට වඩා එ ජාතික පෙරමුණ ලැබුවේ ආසන දහයක් පමණයි.

යම් ආකාරයකින් වෙන ම පක්‍ෂයකින් එදා තරග කළා නම් ප්‍රතිඵල වෙනස් වෙන්න තිබුණා. මෛත්‍රිපාලගේ කණ්ඩායම සංධානයෙන් තරග කර මහා පරිමාණ පරාජයක් ලැබීමට තිබුණා. අද සමුපකාර ඡන්දවලින් වගේ. නව පක්‍ෂය ජයග්‍රහණය කරන්නත් තිබුණා. ඒ නැතත් නව පක්‍ෂයට විරුද්ධ පක්‍ෂයේ වැඩි බලයක් ලැබෙන්න තිබුණා. එසේ නම් සම්බන්ධන්ෙැග් විරුද්ධ පක්‍ෂ නායකකම, අනුර දිසානායකගේ විරුද්ධ පක්‍ෂ සංවිධායකකම නැති වෙන්න තිබුණා. 

ඒ වගේමයි නිමල් සිරිපාල අමරවීර රාජිත වැන්නන්ගේ ඇමතිකමුත්. අද ඒකාබද්ධ විපක්‍ෂය එදා වෙන ම තරග කළා නම් අද නිවට කතානායකගෙ තීන්දුවලට යටවෙලා පාර්ලිමේන්තුවෙ කතාකිරීමේ අවස්ථාව නැති නොකරගන්න තිබුණා. එදා නව පක්‍ෂයක් පිහිටෙවුවා නම් අද ඒකාබද්ධ විපක්‍ෂයේ සියල්ලන්ට ම එහි සාමාජිකයන් වන්නට තිබුණා. ඒත් අද ඒක කරන්න බැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව පක්‍ෂයේ සාමාජිකයන් වීමේ අවදානමක් තිබෙනවා. 

ඔවුන් නව පක්‍ෂයට ගියහොත් ඔවුන්ගේ මන්ත්‍රීකම් සංධානයේ මෛත්‍රිපාල ඇම්බැට්ටයන්ට හිමි වෙනවා. ජී එල් නව පක්‍ෂයේ සභාපති වන්නේ ඔහුට අද මන්ත්‍රීකමක් නැති නිසා. නව පක්‍ෂයට ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්ව කටයුතු කිරීමේ බාධාවක් නැහැ. ජී එල් වැන්නන් ජාතිකත්වයේ දැන්වත් නැත්නම් නව පක්‍ෂයට රනිල් සමග තරග කරන එක පහසු වන්නේ නැහැ. 

නව පක්‍ෂය පළමුවෙන් සිංහලයන් එකතු කළ යුතුයි. සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් වුවත් මැතිවරණ දිනන්න පුළුවන්. එයින් කියන්නේ දෙමළ මුස්ලිම් ජනවර්ග අමතක කරන්න කියන එක නොවෙයි. ඒත් දෙමළ මුස්ලිම් ඡන්ද වෙනුවෙන් ජාතිකත්වය පාවා දිය යුතු නැහැ.

නලින් ද සිල්වා
2016 නොවැම්බර් 03



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න