කතානායක කරුගේ බාල දියණිය ඉන්දිරා පිළිකාවකින් ජීවිතය හැර යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

කතානායක කරුගේ බාල දියණිය ඉන්දිරා පිළිකාවකින් ජීවිතය හැර යයි


වසර 9 ක් තිස්සේ පිළිකාවෙන් පෙළුණ
කතානායක කරුගේ බාල දියණිය ඉන්දිරා ජීවිතය හැර යයි

කතානායක කරු ජයසූරියගේ බාල දියණිය වන ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ඊයේ එංගලන්තයේදී අවාසනාවන්ත ලෙස අඩු වයසින් ජීවිතය හැර ගියා. මිය යන විට ඇගේ වයස 40 කි.

ඇගේ අවාසනාවන්ත මරණයට හේතු වූයේ වසර 9 ක් තිස්සේ ඇයට වැළඳී තිබුණ පියයුරු පිළිකා රෝග තත්වයයි. කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය හා දේවි බාලිකා විද්‍යාලවල ආදි සිසුවියකවූ ඇය
ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍රයෙන් වැඩිදුර අධ්‍යාපනය එංගලන්තයේදී සිදු කර තිබුණා. 

පසුව එරටදී මුණ ගැසුණ සුදු ජාතික මාටින් ඩිකර් සමග ඇය විවාහවී දරුවන් දෙදෙනෙකුද ලබා තිබුණා. 2007 වසරේදී පියයුරු පිළිකා රෝග තත්වය වැළඳී ඇති බව ඇය හඳුනාගන්නා විට දරුවන් ලැබී තිබුනේ නැත.

ප‍්‍රතිකාර වලින් මාස කිහිපයකින් පියයුරු පිළිකා රෝග තත්වයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව පසක් කරගෙන ඇය අයිවීඑෆ් ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් ඇගේ පළමු දරු උපත 2012 සාර්ථකව සිදු කළ අතර ඔවුන් පළමු දියණිය සමග සන්තෝෂයෙන් කාලය ගත කළා. 

නැවත 2015 දෙවන දරු උපත වෙනුවෙන් ඔවුන් කල්පණා කළ අතර අයිවීඑෆ් ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් එවර ඔවුනට ලැබුනේ පිරිමි දරුවෙකි. ඉන්දිරා පිළිකාවෙහි භයංකර අත්දැකීම අභියෝගයක් කරගෙන දරුවන් ලබන්නට තරම් වාසනාවන්තියක වීම ගැන එංගලන්තයේ පුවත්පත් පවා වාර්තා පළ කර තිබුනේ මේ අතරවාරයේය.

නමුත් අනපේක්ෂිත ලෙස දෙවන දරුවා ලැබී මාස 7 ක් පමණ ගතවෙද්දී ඇය රෝග තත්වයෙන් ඔත්පළ වුණා.නිදන්ගතව අතුරුදන්වූවා යයි සිතූ පිළිකා රෝග ලක්ෂණ ඇය කෙරෙන් යළි මතුවුණා. කෙසේ වෙතත් දෙවන දරුවා වෙනුවෙන් ඇගෙන් ඉටුවිය යුතු බොහෝ දේ ඇය ඉටු කර අවසන්වූ පසු එම රෝග ලක්ෂණ මතුවීම නිසා ඇයට සැනසිල්ලක් ඇතිවුණ බවද ඇය පුවත්පත් වලට පවසා තිබුණා.

කාලය කෙමෙන් ගතවුනේ ඇගේ ජීවිතය අහිමි වන බවට ඇයටම දැනෙන දේවල් සිදුවෙමිනි. තමා මරණයට පත්වන බව දැනගෙන ඇය අන්තිම කැමති පත‍්‍රයද ලියා තිබුණ අතර අවසන් කටයුතු එංගලන්තයේ කෙන්ට්හි බෘම්ලි ගම්මානයේ ඇගේ නිවසේම සිදු කරන්නැයිද ඇය ඉල්ලා තිබුණා.

ඇගේ අවසන් කටයුතු වෙනුවෙන් කතානායක කරු ජයසූරිය ඇතුළු පවුලේ අය එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.








No comments:

Post a Comment

Post Bottom Ad