බදු සහන දුන් ‘ලයන් බියර්’ මිතුරන්ට තව සහන.. ජනතාවට බදු පිට බදු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

බදු සහන දුන් ‘ලයන් බියර්’ මිතුරන්ට තව සහන.. ජනතාවට බදු පිට බදු..

මෙරට විශාලම බීර සමාගම වන ලයන් බෲවරි සමාගමට බීර ලීටරයක් ආනයනය කිරීම වෙනුවෙන් තවත් රුපියල් 50 ක අමතර බදු සහනයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.

පසුගිය මැයි මාසයේ ඇද හැලුණු මහා වර්ෂාව හේතුවෙන් බියගම ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර ආපදා තත්ත්වය නිසා මෙම ලයන් බෲවරි සමාගමේ බීර නිෂ්පාදන කර්මාන්ත ශාලාව ද අඩපණ විය. මේ හේතුවෙන් 80% ක පමණ වන සිය වෙළෙඳපොළ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා විදේශයන්ගෙන් බීර අපනයනය කර බෙදා හැරීමට තීරණය කර තිබුණි. 


එහෙත් ඒ වන විට මෙරටට මත්පැන් ආනයනය සඳහා රේගූ බදු ලෙස බීර ලීටරයට රුපියල් 500 ක්ව පැවැති බදු මුදල 129 දක්වා අඩු කර මෙම සමාගමට විශේෂ සහනයක් දෙනු ලැබීය. අනෙකුත් බදු සමඟ එවිට බීර ලීටරයක් සඳහා ගෙවිය යුතුව තිබුණේ රුපියල් 246 ක් පමණි. ඒ අනුව බීර ලීටරයකින් රුපියල් 371 ක් වන පරිදි රාජ්‍ය ආදායම අහිමි විය. 

එනම් සමාගමේ එක කාර්තුවක (මාස 4ක) සාමාන්‍ය බීර සැපයුම වන ලීටර මිලියන 35 හා සසඳා බැලීම පසෙකට තබා ආනයනය කරන ප්‍රමාණය මිලියන 20 ක් වෙතැයි උපකල්පනය කළහොත් රටට අහිමි වන බදු මුදල මිලියන 7400 ( බිලියන 7.4ක් ) ක්

පමණ වෙයි. එහෙත් බදු සහන ලබා දී තිබෙන මාස හතරක කාලය තුළ ඔවුන් කෙතරම් බීර ලීටර ප්‍රමාණයක් ගෙන්වාවිද, කෙතරම් ප්‍රමාණයක් අමතරව ගබඩා කර ගනීද යන්න ගැන කිසිදු වාර්තාවක් නොමැත. මේ තත්ත්වය මත රජයට අහිමි වන බදු මුදල් ප්‍රමාණය මීට වඩා ඉහළ විය හැකිය. මේ අතර 2017 අයවැය යෝජනා මඟින් මෙම රේගු බදු රු. 800 දක්වා ඉහළ දැමීම ද සිදු කර ඇත.

ලයන් සමාගමට මෙම බදු සහන ලබා දීම සඳහා මැදිහත් වූයේ අගමැතිවරයා, දයා ගමගේ, සහ මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් බවට කසුකුසුවක් ද තිබේ. මන්ද, ලයන් සමාගමේ හිමිකරුවා වන හරී සෙල්වනායගම් යනු අගමැතිවරයාගේ උපදේශක මට්ටමේ සිටින ගජ මිතුරෙකි. දයා ගමගේ ඇමැතිවරයාට මෙම සමාගම් ප්‍රධානියකු සමඟ සමීප ඥාතිත්වයක් තිබේ. 


මලික් සමරවික්‍රම ඇමැතිවරයා සාමාන්‍යයෙන් මේ ගජ මිතුරන්ගේ වැඩ වෙනුවෙන් නිල නොවන ලෙස මහන්සි වන්නෙකි. ඒ කෙසේ වෙතත් මෙම විෂය භාර ඇමැතිවරයා වන රවී කරුණානායක මහතා මෙම බදු සහන ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබිණි. ඒ හරී සෙල්වනායගම්ලා හා ඔහුගේ තිබෙන විරසකයක් අනුව මිස වෙනෙකක් අනුව නොවේ. 

මේ නිසා පසුගිය අගෝස්තු මාසයේ දී ආනයනික සැර බීම හා බීර සඳහා අමතර සුරා බද්දක් ඔහු විසින් පනවන ලදී. ඒ අනුව සැර බීම සදහා රු. 200 ක් ද බීර ලීටරයකට රුපියල් 50 ක් ගෙවිය යුතු විය. ඒ ඉවත් කර ගැනීම සඳහා සෙල්වනායගම්ලා දැඩි වෙහෙසක් ගත් නමුත් ඒ ව්‍යර්ථ විය. නමුත් සෙල්වනායගම්ලා තමන්ගේ ගජ මිතුරුකම් පාවිච්චි කර පෙර අවස්ථාවේ අඩු කර ගත් බදු මුදල තවත් රුපියල් 50 කින් අඩු කරගැනීමට සමත්ව තිබේ. 

ඒ අනුව ලයන් සමාගම මේ වන විට බීර ලීටරයක් සඳහා බදු ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 246 ක් ම පමණි. එමඟින් රුපියල් 50 සුරා බදු මඟින් අහිමි වූ ලාභය යළි අත්කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ. මුදල් ඇමැතිවරයා වැට් බදු ආදිය පනවමින් රුපියල දෙක ආදී වශයෙන් හෝ රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා මෙරට සමස්ත ජනතාව මත බර පටවන විට ගජ මිතුරන්ට බදු සහන ලබා දීම අතිශය ගැටලුකාරීය. බීර යනු අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. 

ඊට බදු සහන ලබා දීමෙන් එක් ව්‍යාපාරිකයකු පොහොසත් වෙනවා හැර අනෙකක් වන්නේ නැත. පොදුවේ සියලු බීර ආනයනකරුවන්ට මෙම සහනය ලබා දීම සිදු කර තිබුණි නම් මෙහි යම් සාධාරණයක් තිබිය හැකිය. මෙම බදු සහන ලබා දීම තවදුරටත් ගැටලුකාරී වන්නේ මේ වන විටත් මෙම සමාගම ගංවතුර අලාභ හානිය වෙනුවෙන් වූ විනාශය සඳහා මෙම කාර්තුව වෙනුවෙන් බීර වෙළෙඳාමෙන් ලැබිය හැකි ලාභය මෙන් කිහිප ගුණයක රක්ෂණ වන්දි ද ලබා ගෙන ඇති බැවිනි.

සුභාෂ් ජයවර්ධන
– sathhada.lk

No comments:

Post a Comment

Post Bottom Ad