පාර්ලිමේන්තුව සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට නීතිමය යාන්ත්‍රණයක් බ්‍රිතාන්‍යයන් අපට නො දුන්නේ ඇයි?

ශ්‍රී ලංකාව යනු පෙරදිග පිහිටි රටකි. දකුණු අසියාවේ සමකයට ආසන්නවන්නට පිහිටි රටකි. ඉතා ඈත අතීතියේ පටන් වාරි ශිෂ්ටාචාරයෙන් ලොව විස්මයට පත්කළ ජනතාවක් සිටි රටකි. පෘතුග්‍රීසීන් සහ ලංදේසීන් විසින් අඩ වශයෙන්ද ඉංග්‍රීසීන් විසින් සම්පූර්ණයෙන්ද ලංකාව යටත්කරගනු ලැබීය.1815 කන්ද උඩරට ගිවිසුමෙන් ආරම්භ කරන ලද ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍යයන් අත්කර ගැනීම 1948 දී නැවත ආපසු ලබා දුන් බවත් ඇතැම්හු තර්ක කරති. 

වර්තමානයේ පරමාධිපත්‍ය යනු පාලන බලයවන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය ලෙස හදුනාගෙන ඇත. මේ ආයතන 1815 තරම් ඈත අතීතියේද එනමින්ම නොවුණත් ලංකාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයන් යොදාගනු ලැබිණි.

1815 උඩරට ගිවිසුමත් සමග ලාංකිකයන්ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ අයිතිය එනම් ලාංකිකයන්ගේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය එංගලන්ත කිරීටයටත්, එංගලන්ත පුරවැසියන්ටත් පවරා ගැනීම සිදුවිය. එදා ගිවිසුමකින් අයිතිකරගත් ලංකීක ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආපසු ලබා ගැනීම සදහා දිගින් දිගටම නොනවතින අරගල, දිවි පිදීම් සිදු වී ඇති බවත් ලංකිකයන් නොකඩවා නිදහස් අරගල සිදුකළ බවත් නොරහසකි. 

ඇහැලේපොළ, කැප්පෙටිපොළ පටන් පුරන්අප්පුගේ සිට 1971 ආයුධ සන්නද්ධ කැරැල්ලත්, 1988-1989 තරුණ අරගලයත්, 2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී නිමා කරන ලද උතුරු නැගෙනහිර වෙන් කිරීමේ උත්සාහයත් මේ සදහා ප්‍රබල උදාහරණ වෙති. 

මේ අකාරයට රටේ ජනතාව නිදහස වෙනුවෙන් සිය දිවි පිදුවද, ජයග්‍රහණ අත්කර ගත්තද නීතිමය වශයෙන් රටේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ නිදහස දිනා ගැනීමට නිසි වැඩපිළිවෙලක් ස්වදේශීය ලාංකිකයන් සතු නො වීය.

1815 උඩරට ගිවිසුම තවත් ශක්තිමත් වන ලෙස බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ නීතීවේදීන් නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන හරහා නැවත බ්‍රිතාන්‍යයටම යටත් කරදීම 1833, 1947, 1972 සහ 1978 ව්‍යවස්ථා මගින් සිදු කළ අතර එකී නීති ප්‍රතිසංස්කරණ ලංකාවේ පොළවේ සුවද නොහදුනන නීති ප්‍රතිසංස්කරණ වී මේ හේතුවෙන් වැඩි කල් නොගොස්ම එකී ව්‍යවස්ථා ලාංකීය සමාජයම අර්බුදයට ඇද දැම්මේය. එකී ව්‍යවස්ථා ලංකාවේ පොළවේ මුල් ඇද නොගත්තේ ය.

වර්තමානයේ පවා ජනසම්මතවාදයට පටහැනිව ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කර ගනිමින් බ්‍රිතාන්‍යයට අවශ්‍ය ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන මේ අවස්ථාවේ කිව හැක්කේ බන්ධනාගාර සහ අධිකරණ පෙන්වමින් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තද වැඩිකල් නොගොස්ම එකී ව්‍යවස්ථාවත් කුණු කූඩයට යනු ඇති බවයි.

1815ට පෙර  ලාංකිකයන් අත තිබූ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උඩරට ගිවිසුමත් සමගම එංගලන්තයේ කිරීටය විසින් මෙහෙයවන ආකාරයට පරිවර්තනය වෙමින් එංගලන්තයේ රජුගේ හෝ රැජිනගේ නියෝජිතයන් විසින් ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙහෙයවන ලද අතර වර්තමානයේ එය වෙනස් වී ලාංකික ජනතාවගේ පරමාධිපත්‍ය බලය රටේ පුරවැසියන්ගෙන් යුත් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ විසින්  ක්‍රියාත්මක වන බව ජනතාව සිතා සිටිති.

1815 සිට මේ දක්වා රටේ පාලකයන් විසින්  බයිනෙත්තුවේ සිට මල්ටි බැරල් තුවක්කුවෙන්ද, නීතිය සහ සිරගෙවල් වලින්ද, නීතියේ බලය යොදමින් රටේ ජනතාව පාලනය කරමින් සිටිති. එසේ වුවද ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්වීමද, ලංකාව විදේශයන්ට වැඩි වශයෙන් ණය වෙමින් පවතින බවද දිනපතා අසන්නට සහ දකින්නට ලැබේ.

කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ, සෝල්බරි ප්‍රතිසංස්කරණ මෙන්ම 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවත්, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවත් එදා 1815 දී ලාංකිකයන්ගෙන් බ්‍රිතාන්‍යයන් අත්කරගත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවත ලබා ගැනීමට කළ මවාපාන ලද නෛතික උත්සාහයන් විය.

ඒ සියලු දේ ස්වදේශීය ජනතාව රැවටීමට කළ නෛතික උපායයන් ම විය.

1970 සමගිපෙරමුණුආණ්ඩුවවිසින්පළමුජනරජආණ්ඩුක්‍රමව්‍යවස්ථාවසම්මතකරමින් 1815 දී බ්‍රිතාන්‍යයන් අත් කරගත් ලාංකිකයන්ගේ පරමාධිපත්‍ය බලය නැවත ආපසු ගත් බවත් ඇතැම්හු පවසති.වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා සැළකිල්ලෙන් අධ්‍යයනය කිරීමේදී සහ ඉහත ක්‍රියාවන් අධ්‍යයනය කිරීමේදී 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් පවරාගත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය මේ දක්වා ලාංකිකයන් අතට හිමිවී නැති බවත් ඒ සමගම පෙනීයයි. 

එනම් ජනතා පරමාධිපත්‍ය නිසි ලෙසනිරූපණය වන අකාරයට විධායක, ව්‍යවස්ථා සහඅධිකරණයන පාලන ආයතන ක්‍රියාත්මක නොවන බවත් ඒවා සීමිත පිරිසකගේ අවශ්‍යතා ඉටුකරන්නක් බවට පත්වී ඇති බවත් ලංකාව විසින් ලෝකයට ගෙවිය යුතුණය ප්‍රමාණය වැඩිවන වේගයෙන්ද තහවුරු වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත බලාත්මක වන බවත් ලාංකාවේ නීතිය තුළ ස්ථාපනය වී ඇත. 

2001 ජූනි මස 20 දින පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවේ ඇති හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ තීරණයත්, වර්තමානයේ පවතින ජාතික ආණ්ඩුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධව  මෙම ලේඛකයා පවරන ලද SC/FR/348/15 මූලික අයිතිවාසිකම් නඩුවේ 2016.11.24 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ මහාචාර්යවරයකු විසින් පවරන ලද නඩුවේ SC/FR/116/16 නඩුවේ 2016.10.13 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් අනුව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත මගින් ආවරණය ලබමින් පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළ පසු එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කිරීම දුෂ්කර බවයි.

ඒ කෙසේ වෙතත් 1815 දී ලාංකිකයන් විසින් අහිමි කරගත් නිදහස නැවත ලබා ගැනීම සදහා ගනු ලැබූ සහ නිර්මාණය කරගත් සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ වන විට අසාර්ථක වී ඇති බව ප්‍රායෝගික තත්ත්වයයි. එනම් 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 5/6ක ආසන ප්‍රමාණයක් දිනාගත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරගත්ත ද එය දිගින් දිගටම අසාර්ථක වී ඇති බව 19 වතාවක් සංශෝධනය කිරීමෙන් සහ වර්තමානයේ ඉදිරිපත් කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන්ද පිළිගත යුතු වෙයි. 

අතිමහත් බහුතර ඡන්දයෙන් තෝරාගත් 1977 ආණ්ඩුව නිර්මාණය කළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ජනතාවගේ පරමාධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් නොවූයේ නම් කථානායකවරයා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවා කල් දමමින් පවත්වාගෙන යන වර්තමාන යහපාලන-සංහිදියා ජාතික ආණ්ඩුව මගින් බිහිකරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අනාගතය කුමන තත්ත්වයක් ගනු ඇතිද? කුමන පැවත්මක් ගනු අතිද,? එය කවදා සංශෝධනය වෙයිද? යන්න සිතා ගැනීම පහසු කරයි.

2015 අගෝස්තු මස 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනතාව විසින් තෝරාගත් පාර්ලිමේන්තුව විසින් ජනසම්මත වාදයට පටහැනිව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්ත ද,ජනතාවට එය නිවැරදි කර ගැනීමට නෛතික හැකියාවක් නොවූයේ පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පනත හේතුවෙනි. 

1815 උඩරට ගිවිසුමෙන්  බ්‍රිතාන්‍යයන්ට පවරා දුන් ලාංකිකයන්ගේ පරමාධිපත්‍ය බලය තවමත් බ්‍රිතාන්‍යයන් සතු කර ගන්නා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත හේතුවෙන් පාර්ලිමේන්තුව නීති විරෝධී ක්‍රියාවන් සිදු කළද එය නිවැරදි කරන නීතිමය යාන්ත්‍රණයක් වර්තමානයේ පවා ලංකාවේ ක්‍රියාත්මක නො වේ. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට මුවා වී සිදු කරන සෑම ක්‍රියාවක්ම ආරක්ෂා කරන නීති බ්‍රිතාන්‍යයන් විසින් අපට දායද කර ඇත.

2016 සැප්තැම්බර් මස 03 වැනි දින කථානායකවරයාගේ මෙහෙයවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව වැරදියට අර්ථ නිරූපණය කරගනිමින් ජනසම්මතවාදයට පටහැනිව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගෙන තිබුණද පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියමින් සහ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ක්‍රියාත්මක වීමෙන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට ලංකාවේ ජනතාවට අයිතියක් හෝ අවස්ථාවක් නොතිබුණි.

වර්තමාන පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියාත්මක වූ එකම අවස්ථාව ජාතික ආණ්ඩුව ජනසම්මතයට පිටින් පිහිටුවා ගැනීම පමණක් නො වේ. ඒ සදහා තවත් උදාහරණ වෙති.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තියේ ඇති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියට ඇතුළත් කරමින් නීති පැනවීමට කරූ ජයසූරිය කථානායකවරයාගේ වර්තමාන පාර්ලිමේන්තුව කටයුතු කර ඇත. එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ඉදිරිපත් නොකර සහ එකී පනතේ උපලේඛනයේ හෝ ජාත්‍යන්තර සම්මුතිය නො දක්වා නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව ක්‍රියා කිරීමෙන් පැහැදිලි වන්නේ වර්තාමන ඊනියා ජාතික ආණ්ඩුවේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය, ජනසම්මතවාදය නොතකා ක්‍රියාත්මක වන බවයි.

1815 බ්‍රිතාන්‍යයන් රටේ පරමාධිපත්‍ය අත්කර ගැනීමෙන් පසු අපට හදුන්වා දුන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට මුවා වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නියමයන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණ කිරීමේ අයිතිය පවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැරගනිමින් වර්තමාන පාර්ලිමේන්තුව යහපාලන සමාජ මූලධර්ම උල්ලංඝණය කරමින් ක්‍රියා කරන බව සනාථ වෙයි.

1815 බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමේ සිට මේ දක්වා මෙරට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ආයතන ප්‍රධානීන් සහ ඒ ආයතන නඩත්තු කිරීමට ජනතාව විසින් කොතෙක් මුදල් ලබා දී ඇත්ද යන්න පිළිබද ඇගයීමක් මේ දක්වා සිදු කර නැත. ඒ අකාරයට ජනතාව විසින් ලබා දී ඇති මුදල් ප්‍රමාණයට සරිලන ආකාරයට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන සිය යුතුකම් සහ වගකීම් ඉටුකරන ලද්දේ නම් 1971 තරුණ සංහාරයක් ද, 88-89 තරුණසංහාරයක්ද, 1974 සිට 2009 මැයි 19 දක්වා උතුරු නැගෙනහිර සන්ද්ධ අරගලයක්ද ඇති වන්නේ කෙසේද? එමෙන්ම තරුණ තරුණියන් දහස් ගණනක් මහමග දැවී පිළිස්සී යයිද?

මේ කරුණු අනුව පාර්ලිමේන්තුව සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට නීතිමය යාන්ත්‍රණයක් බ්‍රිතාන්‍යයන් අපට නො දුන්නේ ඇයි? යන්න මැනවින් පැහැදිලි වෙයි. ජනාතවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන විධායකය පාලනය කිරිමට බ්‍රිතාන්‍යයන්අපට උගන්වයි. ජනාතවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන අධිකරණය පාලනය කිරිමට බ්‍රිතාන්‍යයන්අපට උගන්වයි. 

ජනතාවගේ ආරක්ෂාවට කියමින් විධායකය සහ අධිකරණය පාලනය කිරීමට ස්වාධීන කොමිෂන් සභා පත්කරගන් ලෙස බ්‍රිතාන්‍යයන්අපට උගන්වයි.නමුත් ජනාතවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායකය පාලනය කිරිමට බ්‍රිතාන්‍යයන් අපට උගන්වන්නේ නැත.  එහිදී පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ගැන කතා කරති. ඒ මන්ද යන්න විමසිය යුතු කාලීන පැනයයි. එයට විවිධ පිළිතුරැ කිබිය හැක. 

එක් පිළිතුරක් විය හැක්කේ ව්‍යස්ථාදායකයට මුවා වී විධායක සහ අධිකරණ ක්‍රියාවන් ආරක්ෂා කිරීමටත්, ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තවදුරටත් බ්‍රිතාන්‍යයන් අත දරා සිටීමත් ඉන් තහවුරු වන බවයි.බ්‍රිතාන්‍යයන්අපට කියා දෙන සංවරන තුළණ ක්‍රමයෙන් පාර්ලිමේන්තුව නිදහස් කරති.“වැටත් නියරත් ගොයම් කානම් කාට කියනුද ඒ අමාරැව” කියා පැරන්නෝ කීවේ ඒ නිසා ය.

ඉදිරියේ සම්මත කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ, සෝල්බරි ප්‍රතිසංස්කරණ මෙන්ම 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මෙන්ම කෙටි කළකින්ම කුණු කූඩයට යනු ඇත්තේද යන්න මේ වන විටත් පැහැදිලිය. නූපන් දරුවන්ට කේන්දර නොහැදිය යුතු නමුත් දරුවා උපද්දවන දෙමාපියන් ගේ ඥාතීත්වය විමසීමෙන්ම ඉපදෙන්නට යන දරුවා පිළිබද විද්‍යාත්මක කරුණු කිව හැක. ඇතැම් ඥාතා විවිහ නීතිය මගින්ද අනුමත නො කරන්නේ ඉපදෙන්ට සිටින දරුවන් මත පිහිටා මිස ඉපදී සිටින දරුවන් මත පිහිටා නොවේ.

බ්‍රිතාන්‍ය නීතියේ පිහිටෙන් සහ යටත්විජිත තත්ත්වයෙන් බලවන්ත වූ විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සිටින පිරිස තමන් සතු අසීමිත බලය සාමන්‍ය පොදු ජනතාවට ලබා දී මහත් වූ පිංකමක් සිදු කර ගැනීමට රිසි වෙයිද? වෙස්සන්තරා ලා මෙන්ම අනේපිඩු ලා අතීතයේ මිස වර්තමානයේ සමාජයේ නොමැති අතර සම්මත තරන්නට යන ආණ්ඩුක්‍රමයද සංශෝධනය කරන හැටි දැන් සිටම අපි කථා කරමු.

නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි
B.Sc(Col),PGDC(Col)
arunaunawatuna@gmail.com
2016.11.25




උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න