වැරදි ලේඛණයක් වෙබ් අඩවියේ - සෞඛ්‍ය ඇමති අණින් පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

වැරදි ලේඛණයක් වෙබ් අඩවියේ - සෞඛ්‍ය ඇමති අණින් පරීක්ෂණ

වැරදි ලේඛණයක් වෙබ් අඩවියේ - සෞඛ්‍ය ඇමති අණින් පරීක්ෂණ

2017 වසරට අදාලව වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛණය වැරදි සහගත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ පළවීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම ඊයේ (03) සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මෙලෙස නියෝග කර ඇත.

එහිදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, වෛද්‍ය වෘත්තීය සංගම් ස්ථාන මාරුවීම් ලේඛණය සකස් කිරීමට මැදිහත් වී ඇත්දැයි සෙවීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංවරයා දැනුම් දී තිබේ.

මින් ඉදිරියට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ලේඛණ සකස් කිරීමේදී වෛද්‍ය වෘත්තීය සංගම්වල නිර්දේශ ලිඛිතව ලබා ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් යම් දැනුම්දීමක් වෛද්‍ය වෘත්තීය සංගම් වෙත ලබාදීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ අත්සනින් යුතුව ලබාදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් උපදෙස් ලබාදී ඇත.

තවද අමාත්‍යංශ වෙබ් අඩවියේ වැරදි සහගත ලෙස වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛණය ඇතුළත් කිරීමට අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහය ලැබී ඇත්දැයි සොයා බලන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

රැස්වීම අවසානයේදී තීරණය වී ඇත්තේ 2017 වසරේ ස්ථාන මාරුවීම් සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ ලේඛණය යළි සකස් කිරීමටය.

මීට පෙර සකස් කළ ලේඛණයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නම් ද ඇතුළත් වී තිබුණි.

මේ අතර සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බවත් සතියක් තුළ එම වාර්තාව අමාත්‍යවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවත්ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad