ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ අක්‍රමිකතා රැසක් - ඇමති පාලිතගෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 26, 2016

ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ අක්‍රමිකතා රැසක් - ඇමති පාලිතගෙන් හෙළිදරව්වක්

ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ අක්‍රමිකතා රැසක් - ඇමති පාලිතගෙන් හෙළිදරව්වක්

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 57 වසරක කීර්තිමත් ඉතිහාසයට නිගරු වන අන්දමින් වර්තමානයේ කටයුතු සිදුවෙමින් පවතින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ මෙතෙක් පාලනය වූ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට මේ වන විට සභාපතිවරයෙකු පත්කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහුට රුපියල් 60,000ක මාසික වැටුපක්ද, ලීටර්140ක ඉන්ධන දීමනාවක් ද, නවීන මෝටර් රථයක් හා කාර්යාල සහ කාර්ය මණ්ඩල පහසුකම් ද ලබා දී ඇති බවත් එය ව්‍යවස්ථාපිත නියමයන් බරපතල ලෙස උල්ලංඝනය කිරිමක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.

මොරටුවේ පිහිටි ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ජාතික සේවක සංගමයේ සාමාජිකයින් සමග ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරිමත්, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ කරුණු විමසා බැලීමත්, ඉදිකිරිම් කිහිපයක ගැටලුකාරී තත්වයන් පිළිබඳ කරුණු විමසීමත් අමාත්‍යවරයාගේ මෙම චාරිකාවේ අරමුණ වී තිබිණ.

මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ගොඩනැගිලි කිහිපයක ඉදිකිරිම් කොන්ත්‍රාත්තු විවිධ නම් වලින් පෙනී සිටිමින් ඒවා එකම පුද්ගලයෙකු විසින් ලබා ගෙන ඇති බවයි. ඉදිකිරිම් රැසක් ප්‍රමිතියෙන් තොරව සිදු කර ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අකාර්යක්ෂම බවට අයවැය විවාදයේදී දැක්වූ අදහස් සහ ඊට අදාලව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ද මාධ්‍යවේදීන් කරුණු විමසා සිටි අතර ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ කරුණු සහිතව ඉතා වගකීමෙන් යුතුව තමන් මෙම තොරතුරු ඉදිරිපත් කළ බවයි. 

රට වෙනුවෙන් සහ තරුණ සමාජයේ යහපත වෙනුවෙන් තමන් මෙම හෙලිදරව්ව සිදුකළ බවත් තමන්ට කල හැකි දේ වගකීමෙන් යුතුව ඉටු කර ඇති බවත් ඉන් එහාට ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කළ යුත්තේ ඉහළ බලධාරීන් විසින් බවත් කියා සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ තරුණයින් වෙනුවෙන් රැකියා දශලක්ෂයක් බිහිකිරිමේ අරමුණක රැඳී සිටින වත්මන් රජය මෙවැනි අකාර්යක්ෂම ස්ථාන නගා සිටුවීමට ක්‍රමවත් වැඩපිලිවෙලක් වෙත අවතීර්ණ වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad