ජනපති හදිසියේ රාජ්‍ය ආයතන දෙකකට යයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

ජනපති හදිසියේ රාජ්‍ය ආයතන දෙකකට යයි 

ජනපති හදිසියේ රාජ්‍ය ආයතන දෙකකට යයි 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශය යටතේ පවතින ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඊයේ (03) පස්වරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ආයතනවල කි‍්‍රයාකාරිත්වය පිළිබඳ විමසා බැලීය.

ජනාධිපතිවරයා පළමුව බොරැල්ලේ පිහිටි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ නිරීක්ෂණයට එක්විය.

එහි කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා අනතුරුව සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ආයතනයේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ විමසා බැලීය.

ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ ඉදිරි වසර 04 සඳහා වූ කි‍්‍රයාකාරී සැලැස්ම මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර වර්තමාන සංවර්ධන කාර්යයන් සඳහා ආයතනයෙන් ලබාදෙන දායකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

හරිත ගොඩනැඟිලි සංකල්පය ඉදිරියට ගෙන යාමට ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය ප‍්‍රමුඛ විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මොරගහකන්ද කළුගඟ, උමා ඔය වැනි ජල සම්පාදන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට ආයතනයෙන් ලබාදිය හැකි දායකත්වය ද පැහැදිලි කළේය.

රාජ්‍ය අංශයේ තිබෙන ප‍්‍රමුඛ ඉංජිනේරු ආයතනයක් වන ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය මේ වන විට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඉදිකිරීම් සහ උපදේශක කාර්යයන්හි නිරතව සිටින අතර ඉංජිනේරුවන් 600 ක් පමණ ඒ යටතේ සේවය කරති.

එහි සභාපති ඉංජිනේරු ජී.ඩී.ඒ පියතිලක මහතා ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර දීමේ ප‍්‍රමුඛ වගකීම මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගෙන් පරිසරය බේරා ගැනීමට නිලධාරීන් අවංකව කැපවිය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

පස් කැපීම්, වැලි ගොඩදැමීම් සහ වනාන්තර හෙළි කිරීම් සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව එම බලපත‍්‍රයේ කොන්දේසි අනුව කටයුතු කෙරෙන්නේදැයි නිරන්තරයෙන් විමසිලිමත්වීම බලපත‍්‍ර ලබාදෙන සියලු ආයතනවල වගකීම බව ද ජජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad