'කඳුරට ජාතික පෙරමුණ' බැසිල්ගේ පක්ෂයට එක්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

'කඳුරට ජාතික පෙරමුණ' බැසිල්ගේ පක්ෂයට එක්වේ

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයටත් සහය පලකල 'කඳුරට ජාතික පෙරමුණ' අලුතින් පිහිටුවනු ලැබූ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සමග සන්ධානගතව දේශපාලන කටයුතු කිරීමට තීරණය කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

'කඳුරට ජාතික පෙරමුණ' නායක සෙන්ඩින් රාජ් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ සම්බන්ධීකරණ කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී.රාධාක්‍රිෂ්ණන්, කමිකරු ජනතා පෙරමුණේ නායක දිගමිබරම් සමග එක්ව 'කඳුරට ජාතික පෙරමුණ' පසුගිය මහ මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් විය.

ඉදිරිදින කිහිපය තුලදී එජාපයට අනුබද්ධිත ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන දේශපාලන නායකයකුද ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ට එක්වීමට නියමිත බව බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

මහින්දගේ පරාජයට හේතු 2ක් :'

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය කෙරෙහි මුලික කරුණු දෙකක් බලපෑ බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

රාජපක්ෂ ආණ්ඩුව ජාතිවාදී යයි සුළු ජනකොටස් හා සිවිල් සමාජය තුළ තිබු ආකල්පය හා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයින් වංචා දුෂණ සිදුකරන බවට විපක්ෂය විසින් මාධ්‍ය හරහා ගෙනගිය 'හොරා' චෝදනාව එම කරුණු දෙක බව ඔහු කියා සිටියේය.

''විපක්ෂය මාධ්‍ය හරහා එම චෝදනා එක දිගට කරනකොට සමහරුන් එක පිළිගත්තා. විශේෂයෙන් එම කාරණය නාගරික ඡන්ද වලට, තරුණ ඡන්ද වලට බලපෑවා.. වෙන බරපතල චෝදනා තිබුනේ නැහැ.. සුදු වැන් කතාව පවා බලපෑවේ ජාතිවාදී පදනමෙන් '' යයි පැවසු බැසිල් රාජපක්ෂ මහතා, එම චෝදනා සැලකිල්ලට ගෙන නව පක්ෂයේ ඉදිරි කටයුතු සැලසුම් කර ඇතැයි කියා සිටියේය.

සුළු ජන කොටස් දිනා ගැනීම :

එහි පළමු පියවර ලෙස සුළු ජන කොටස්වල විශ්වාසය දිනා ගැනීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. 'කඳුරට ජාතික පෙරමුණ' නව දේශපාලන පක්ෂයට එකකට ගැනීම හරහා එම සංඥාව ලබාදී ඇතැයි ද ඔහු කියා සිටියේය.

රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයින් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා දුෂණ කර ඇතිබවට කර තිබු චෝදනා අමුලික බොරුවක් බව යහපාලන ආණ්ඩුව විසින්ම මේවනවිට සනාථ කර ඇතැයි ද ඔහු පැවසිය.

'' කෝ ඔය කෙරුවයි කියපු මහ ලොකු හොරකම්... දැන් අපිව හිරේ විලංගුවේ දාන්න බොරු චෝදනා ගෙනාවා.. '' යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad