තිත්තවැල්ල ගෙදර ස්වර්ණවාහිනිය අර්ජුන්ට.. මාධ්‍යවේදීන්ට ලක්‍ෂ ගණනින් පඩි…. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 26, 2016

තිත්තවැල්ල ගෙදර ස්වර්ණවාහිනිය අර්ජුන්ට.. මාධ්‍යවේදීන්ට ලක්‍ෂ ගණනින් පඩි….

ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත් වීම මත කෝටිපති ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් ආරම්භ කිරීමට නියමිත මාධ්‍ය ජාලයේ රූපවාහිනී නාලිකාව ලෙස ස්වර්ණවාහිනී නාලිකාව අත්කර ගැනීමට සැලසුමක් දියත් කර ඇතැයි වාර්තා වෙයි.

අප වෙත වාර්තා වන අන්දමට මේ වන විට EAP සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මනෝ තිත්තවැල්ලගේ සේවය තවදුරටත් දීර්ඝ නොකිරීමටත් පසුගිය සමයේ මතු වූ මූල්‍ය අර්බුද හේතුවෙන් අදාළ අත්පත් කර ගැනීමට ඇති නෛතික අවස්ථා පෙන්වා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දීමටත් ආණ්ඩුවේ ප්‍රබලයා කටයුතු කර ඇත.

ඒ අනුව මනෝ තිත්තවැල්ල මහතා EAP සමූහයේ සභාපති ධුරයේ කටයුතු කරනුයේ 2017 මාර්තු මාසය වන තුරු පමණි. මේ පිළිබඳ මාධ්‍ය සිදු කළ විමසුමක දී මනෝ තිත්තවැල්ල මහතා සඳහන් කර ඇත්තේ තමා භාරගත් ලෙස මේ වන විට ආයතනය ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම සිදු කර ඇති නිසා ධුර කාලය අවසානයේ එයින් සමුගැනීමට තමන් තීරණය කර ඇති බවත් එය කිසිවකුගේ බලපෑමක් මත සිදු වන්නක් නොවන බවත් ස්වර්ණවාහිනී නාලිකාව වෙනත් පාර්ශ්වයක් මිලදී ගැනීමට සූදානම් වීම ගැන තමන් කිසිවක් නොදන්නා බවත්ය. 


එසේම එවැන්නක් වෙනුවෙන් සාකච්ඡාවක් සිදු වූවා නම් සභාපතිවරයා ලෙස තමන් දැනුවත් විය යුතු බවත් එනිසා අදාළ තොරතුර තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. කෙසේ වුවත් අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව EAP මාධ්‍ය ජාලය ඇතුළු ඊට අනුබද්ධ ව්‍යාපාර අත්කර ගැනීමක් හෝ විකිණීමක් සිදු වනවා නම් සිදු විය යුතුව තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත්වය. 

ETI ෆයිනෑන්ස් හි පසුගිය සමයේ සිදු වූ මූල්‍ය බිඳවැටීම නිසා එහි මව් සමාගම වන EAP ය සම්බන්ධයෙන් මූල්‍ය කළමනාකරණයක් කිරීමට රජය වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වූ නිසාය. එහි දී පැනනැඟි මූලික ගැටලුවක් වී තිබුණේ ETI ෆයිනෑන්ස් හි රුපියල් බිලියන 07 කට අධික මුදලකට සිදු වූ දෙයක් නොමැති වීම සහ ඒ මත තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 37කට අධික මුදල් අවදානමකට පත්ව තිබීමය.

ඒ හේතුවෙන් එවකට අදාළ සමූහයේ සභාපතිවරයා වූ ජීවක එදිරිසිංහ පවා ධුරයෙන් ඉවත්ව විදේශගත වූ අතර පසු කාලයක දී මහ බැංකුවේ අධීක්ෂණය යටතේ සමාගම මෙහෙයවීමට තෝරාගැනුණේ මනෝ තිත්තවැල්ල මහතාවය.

මේ වන විට අප වෙත ලැබී ඇති වාර්තාවලට අනුව ETI ෆයිනෑන්ස් හි අස්ථානගත වූ රුපියල් බිලියන 07කට ආසන්න මුදලට සිදු වූ දේ සම්බන්ධව කිසිදු සඳහනක් නැත. ඒ හේතුවෙන් අදාළ ආයතනය ආශ්‍රිත ගනුදෙනු දුෂ්කර වී ඇති අතර ආණ්ඩුවේ ප්‍රබලයාගේ මැදිහත් වීම මත අර්ජුන් ඇලෝසියස් පාර්ශ්වය සූදානම් වන්නේ පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම EAP සමූහයට අයත් ETI මූල්‍ය ආයතනයේ (එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්) මහා පරිමාණ ආයෝජනයක් සිදු කිරීම හරහා මූල්‍ය අස්ථාවරත්වයට අදාළ අවදානම පහකර ඇති බව පෙන්වා රූපවාහිනී නාලිකාව ඇතුළුව අදාළ සමූහයේ සමාගම්වල සිය පංගුව වැඩිකර ගැනීමටය.

කෙසේ වුවත් මේ වන විට අදාළ රූපවාහිනී නාලිකාව අත්පත් කර ගැනීම සම්බන්ධව රාජපක්ෂ පාලන සමයේ හඳුන්වා දුන් නීතියක් ද හරස් වී ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳ සඳහන් කරමින් ආණ්ඩුවේ අමාත්‍යවරයකු අප සමඟ අදහස් පළ කර සිටියේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩල වෙනසකට හෝ කොටස් විකිණීමකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මෙන්ම, එවැනි පැවරීමක දී ගුවන් විදුලි හා රූපවාහිනි විද්‍යුත් සංඛ්‍යාත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යටතේ ඇති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බවය. 


එය රාජපක්ෂ පාලන සමයේ සියත රූපවාහිනිය එවකට වෙනත් පාර්ශ්වයක් මිලදී ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පනවන ලද නීතියක් බවත් අදාළ නාලිකාව පවරා ගැනීම වෙනුවෙන් කවර කටයුත්තක් සිදු කළ ද අවසානයේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊට අවශ්‍යම බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

කෙසේ වුවත් බැඳුම්කර සිදුවීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති මත දෙකක් හේතුවෙන් අදාළ නාලිකාව ඇලෝසියස් පාර්ශ්වයට ගැනීමට හැකි වන්නේ එම ගැටලු‍ව සමථයකට පත්කර ගැනීමෙන් පසුව බවත් ඊට හේතුව දූෂණ චෝදනා එල්ල වී ඇත්නම් ඒ ප්‍රශ්නය විසඳගන්නා තුරු තවත් චෝදනා එල්ල වීමට ඉඩ නොදෙන ප්‍රතිපත්තියක ජනාධිපතිවරයා සිටීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර අර්ජුන් ඇලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් ආරම්භ කරන මාධ්‍ය ජාලයේ ඉලක්කය සිරස රූපවාහිනිය සහ ලංකාදීප පුවත්පත වෙත ඇති ආකර්ෂණය අත්පත් කර ගැනීම බවත් ඒ සූදානම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා අදාළ ආයතනය වෙත සුබපතා ඇති බව ද වාර්තා වෙයි.

ඒ අනුව සිරස මාධ්‍ය ජාලයේ සිටින දක්ෂ නිෂ්පාදකවරුන් කිහිප දෙනකු සමඟ මේ වන විට නව මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් සාකච්ඡා කර ඇති බව ද වාර්තා වෙයි. එසේම මේ වන විට අදාළ මාධ්‍ය ජාලයේ මුද්‍රිත මාධ්‍ය කොටස වෙනුවෙන් ආයතන ප්‍රධානීන් ද බඳවාගෙන ඇති අතර ඒ අතුරින් ප්‍රධානීන් දෙදෙනකු සඳහා මාසික වැටුප රුපියල් මිලියන 1 ක් බව ද වාර්තා වෙයි. තව ද මාධ්‍යවේදීන් වෙනුවෙන් රුපියල් ලක්ෂයකට ආසන්න වැටුප් නියම වී ඇති බව ද වාර්තා වෙයි.

මේ අයුරින් රුපියල් බිලියන ගණනක ආයෝජනයක් සහිතව මෙම මාධ්‍ය ජාලය පිහිටුවන්නේ 2020 වසරේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව ජනාධිපතිවරයා කරවීමේ මාධ්‍ය ක්‍රියාන්විතය සඳහා බව ද වාර්තා වෙයි.

සංජය ලියනගේ
– සත්හඬ

No comments:

Post a Comment

Post Bottom Ad