පාලන මිලට ඖෂධ අලෙවි නොකරන වෙළෙද සැල් සොයා මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 7, 2016

පාලන මිලට ඖෂධ අලෙවි නොකරන වෙළෙද සැල් සොයා මෙහෙයුමක්

පාලන මිලට ඖෂධ අලෙවි නොකරන වෙළෙද සැල් සොයා මෙහෙයුමක්

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පාලනය ක්‍රියාත්මක නොකරන ඖෂධ අලෙවිසැල් සොයා වැටලීම් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

අද (07) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියේය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි මත අදාළ වැටලීම් සිදුකරන බවයි.

එම පැමිණිලි ලබාගැනීම සඳහා පසුගිය 04 වැනිදා සිට සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා ක්‍රියාත්මක එම ඒකකයට මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 82කි.

ඖෂධ ලබා නොදීම, මිල අඩුකර නොතිබීම, ඖෂධ සඟවාගෙන තිබීම වැනි චෝදනා යටතේ ජනතාව පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වැටලීම් ඒකකය මගින් නියම කළමිලට ඖෂධ අලෙවි නොකරන ඖෂධ අළෙවිසැල් පිළිබඳව සෑම දිනකම වාර්තාවක් සැකසිය යුතුය.

ගැසට් පත්‍රය ප්‍රකාශය පත් කිරීමෙන් පසු ඖෂධ සමාගම් රැසක් ඖෂධ මිල අඩුකර ඇති බවත් සුළු කොටසක් පමණක් ප්‍රශ්න මතු කරමින් ඖෂධ මිල අඩු කර නොමැති බව මාධ්‍ය හමුවට එක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

පාලන මිලට අනුව ඖෂධ ලබා නොදෙන්නේ නම් ඊට අදාළ සියළුම පැමිණිලි 011-3071073 සහ 011-3092269 යන දුරකතන අංක වලට සහ 011-2686113 යන ෆැක්ස් අංකයට යොමු කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර ඇති අතර මෙම මධ්‍යස්ථානය වෙත පැමිණ ලිඛිතව වුවුද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad