'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි

'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි
සහනදායී ගුවන් සේවාවක් පවත්වාගෙන ගිය 'මිහින් ලංකා' සමාගම ලාභ ලබන ආයතනයක් බැවින් එය වසා දැමීම ජාතික අපරාධයක් බවත් මෙම සමාගම වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පාඩු ලබන ආයතනයක් වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම තුළින් ගොඩනගන අතරම මිහින් ලංකා සමාගම ද වෙනම පවත්වාගෙන යා හැකි බවයි.

කලාපීය සංචාරක කර්මාන්තයේ දියුණුවට රුකුලක් සහ දඹදිව වන්දනාවේ යන අහිංසක ජනතාවට සහනයක් වූ මිහින් ලංකා ගුවන් සේවය වැරදි පාලනය නිසා ආරම්භයේදී පාඩු ලැබුවත් පසුව ලාභ ලබන තත්ත්වයට පත්වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මිහින් ලංකා සමාගම හා එහි කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගැනීම සම්බන්ධව තමා මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරනු ඇති බව ඔහු කියාසිටියේය.

මෙය ශ්‍රීලන්කන් ගුවන් සමාගම සමඟ ඒකාබද්ධ කර හෝ වෙනම හෝ පවත්වාගෙන යාමේ හැකියාව ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලනික හේතු ඇත්නම් එහි නම වෙනස්කර හෝ වෙනම පවත්වාගෙන යා යුතු බව අවධාරණය කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad