සිංහල – මුස්ලිම් ගැටුම් ඇවිලවීම පිටුපස ඇත්තේ ඉංග්‍රීසිය ජාතික භාෂාව කිරීමේ සැළසුමද?

වර්තමානයේ ක්‍රියාත්මකවන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට “සිංහල සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය” ලෙස දැක්වේ. වර්තමානයේ ලංකාවේ බලාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය වී සිටි සමයේ “පැකේජය” නමින් හැදින් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එහි 33 ව්‍යවස්ථාවේ “ සිංහල භාෂාව, දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ජනරජයේ ජාතික භාෂාව වන්නේ ය” ලෙස දක්වා ඇත.චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික භාෂව ලෙස ඉංග්‍රීසිය ඇතුළත් කිරීම බව ඒ අනුව පැහැදිලි ය.

ඉදිරියේ සම්මත කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂාවට හිමි නීතිමය ආරක්ෂාව අහිමි කිරීම සදහා සිංහල-මුස්ලිම් ගැටුම් නිර්මාණය කරන බවට 2013-2014 වසරේ නීතී විද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණයේ දී සිදු වූ දෙමළ භාෂා නීති ප්‍රශ්න පත්‍ර සොරකම සම්බන්ධ ක්‍රියාවලිය මැනවින් පැහැදිලි කරයි. මුස්ලිම් නීතීඥවරයෙකුගේ මෙහෙයවීමෙන් සිදුකළේ යැයි කියන එකී ප්‍රශ්න පත්‍ර සොරකම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනය අවසානයේ නීති බලධාරීන් තීරණය කරන ලද්දේ සිංහල භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර ලබා නොදී ඉංග්‍රීසියෙන් පමණක් ප්‍රශ්න පත්‍ර ලබා දීම මෙවැනි වැරදි සිදු කිරීම වැළැක්වීමට ඇති විකල්පය සහ විසදුම බවය.

ar01

කියවන්න – අපී කියු දෙයක් වැරදිලා නැත… අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද පනතේ 27.(iii) වගන්තියේ ඇති බළලා මල්ලෙන් එළියට

ar02

කියවන්න – සේවා සපයන්නන් බවට පත් වන නිෂ්පාදකයන්ගේ දරුවෝ

දැනට පාර්ලිමේන්තුව විසින් පත්කරගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරගෙන යයි. ඒ සදහා ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යමින් ඇමති සංඛ්‍යාව වැඩිකරගෙන ඇති බවත් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් අවස්ථා කිහිපයකදී පවසා ඇත. ඉදිරිපත් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ෆෙඩරල් ගති ලක්ෂණ ඇති බවත්, බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටුකරවන්නක් බවත් ඇතැම් විද්වතුන් මේ වන විටත් අදහස් පළ කරමින් සිටියි.

ඒ අතර වර්තමානයේ සමාජය හමුවේ විවිධ අර්බුද පැන නැගී ඇත. ඒවා පාලකයන් විසින් ම කෘතිමව නිර්මාණය කරන්නක් බවද ආණ්ඩු විරෝධී ඇතැම්හු පවසති. 2016 මැයි 05වැනි දින සාලාව අවි ගබඩාවේ පිපිරුමෙන් වූ විනාශය තවම සමනය වී නැත. යාපනය විශ්වය විද්‍යාලයේ උඩරට නැටුම් පැවැත්වීම සම්බන්ධව සිසුන් ලේ හලා ගත්තේ ය. එමෙන්ම උතුරේ “ආවා” කණ්ඩායම නමින් නීතියට පිටින් ක්‍රියාත්මක වන කල්ලි බිහි වී ඇත. ඒ අතර දකුණේ සිංහල සහ මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන බීජ වපුරවමින් සිටින පිරිසක් පිළිබද තොරතුරු අනාවරණය වෙයි.

යුරෝපයෙන් ලැබෙන ජී.එස්.පී සහනය/GSP Plus වෙනුවෙන් මුස්ලිම් විවාහ නීතියේ සංශෝධන සිදුකරන බවට සමාජයේ අදහස් පැතිරී යයි. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා ගේ විනය පිළිබද කටයුතු කිරීමට නීති කෙටුම්පත කරන්නට විය. ථේරවාදී කතිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල විමසීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලද්දේ එහි ඇතැම් වගන්ති ජනමතවිචාරණයකින් නීතිගත කළ හැකි බවයි. ආගමික හර පද්ධතියකට අයත් දේවල් සම්බන්ධව ජනමතවිචාරණ පැවැත්වීම කෙතෙක් දුරට ප්‍රායෝගික වන්නේ ද යන්න මුස්ලිම්වරුන්ට විවාහ නීති හදුන්වාදෙන අවස්ථාවේ පෙනී යනු ඇත.

රටක් පාලනය කරන මූලික ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එංගලන්තය වැනි රටවල අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ශ්‍රී ලංකාව, ඉංදියාව, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාද පවතී. වෛද්‍ය වෘත්තීය, ඉංජිනේරු වෘත්තිය, ගණකාධිකාරී වෘත්තිය මෙන් නොව නීතිය විශේෂ ආකාරයක් සහ විශේෂ හැඩතළයක් ගනී. වෛද්‍ය, ඉංජිනේරු අංශයන්ගෙන් සියලු දෙනා පාලනය නොවුණත් නීතිය එසේ නොවේ. පුද්ගලයා කැමති වුවත් නැතත් නීතියෙන් බැහැර වී යාමට කිසිම තැනැත්තකුට හැකියාවක් නැත. නීතිය සෑම පුද්ගලයෙකු පසු පසම හෙවනැල්ලක් ලෙස ලුහුබැද එයි.

ඉහත විශේෂ ආකාරයේ හැසිරීම නිසා නීතිය රටේ පාලනයේ මුදුන් මූලය වන අතර නීතිය මගින් ජනතාව මත ඇතිකරන බලපෑම ජනතාවගේ නිදහස සදහා තීරණාත්මක ලෙස බලපායි. වර්ෂ 1815 දී කන්ද උඩරට ගිවිසුමත් සමගම ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය එංගලන්තයේ කිරීටයට පවරා දීම සිදු විය. 1815 සිට 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන තෙක්ම එංගලන්තයේ මහරැජින විසින් සිය නියෝජිතයන් මගින් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ලදී. එනම් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දු වෙනස් කිරීමේ අධිකරණ බලය එංගලන්තයේ රාජාධීකරණය අත දරා සිටීම 1970 ආණ්ඩුව පලයට පත් වන තෙක් ම සිදු විය.ඉන් කියවෙන්නේ විධායක බලය හෝ ව්‍යවස්ථාදායක බලය අභිබවා රටක නිදහස සදහා අත්‍යවශ්‍යෙයෙන් වැදගත් වන්නේ අධිකරණ බලය බවයි. එය වඩා පැහැදිලි වන්නේ පුදගලයාගේ නිදහස තීරණය කරන බලවතා වන්නේ අධිකරණය වීමයි.

2015 ජනවාරි මස 08 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් යහපාලන සංහිදියා ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් පත් වීමේ සිට මේ දක්වා අධිකරණය සහ නීතිය යොදාගනිමින් පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීම සිදුකරණ ක්‍රියාදාමය අධික්ෂණය කිරීමේදී නීතිය මගින් පුද්ගලයන්ගේ නිදහස කොතෙක් සීමා කළ හැකිද යන්න පැහැදිලි වෙයි. නේලසන් මැන්ඩෙලා වසර 27ක් අදුරු කුටියක සිරකරන ලද්දේ බ්‍රිතාන්‍ය කිරීටයේ අණසකට අනුව ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකාවේ අධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දු වලිනි.

වර්තමානයේ ලංකික සමාජයේ ක්‍රියාකාරීත්වය පැටලී ගිය නූලක පැටලිලි ලෙහනවාට වඩා අවුල් ජාලයකි. මේ පැටලිලි ඇති කරන්නවුන්ට පවා ඒවා නිරවුල් කළ නො හැකි මට්ටමට පැටලැවිලි සංකීර්ණ වී ඇත. මේ පැටලැවිලි අස්සේ සිංහල භාෂාව සහ බුදුදහමත්, ලංකාවේ කෘෂිකාර්මික පරිසරයත් විනාශ වී යා නොදී රැක ගන්නේ කෙසේ ද යන්න පිළිබද ස්වදේශිකයන් අවබෝධ නො කරන්නේ නම් ඉන් නිවැරදි කළ නොහැකි අත්වැරද්දක් සිදුවෙයි. ලංකීය කෘෂිකාර්මික පරිසරයේ හැදෙන වැඩෙන දරුවන්ගෙ දෑතට ටැබ්/TAB එක දී උදැල්ල ඇමෙරිකා එක්සත් ජනපදයට දීමේ න්‍යායාචාරීවරුන් සිටින රටකට ජාතිකත්වය “නයාට අදුකොළ මෙන්” පෙනී යාම පුදුමයට කරුණක් නොවේ. (වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව)

මේ යහපාලන සංහිදියා පාලකයන් හොරු අල්ලන හැටිත්, රට සංවර්ධනය කරන හැටිත් අපි  බලා සිටිමු.

නීතීඥ උණවටුන කේ. අරැණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2016.11.18

 



උපුටා ගැනීම : http://ift.tt/2eUbhSP
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න