5000 නෝට්ටුව තහනම් කළ යුතුයි - ගම්මන්පිල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

5000 නෝට්ටුව තහනම් කළ යුතුයි - ගම්මන්පිල

5000 නෝට්ටුව තහනම් කළ යුතුයි - ගම්මන්පිල

දූෂිත මුදල් ආර්ථික ප්‍රවාහයට ගෙන එන්නන් හඳුනාගැනීම සඳහා රුපියල් 5,000 නෝට්ටුව තහනම් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) කොළඹ මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා කියාසිටියේ එමඟින් කළු සල්ලි ළඟ තබාගෙන ඇත්තේ රාජපක්ෂවරුන්ද එසේත් නොමැතිනම් මහ බැංකු හොරුන්ද යන්න දැනගත හැකි බවයි.

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු," දූෂණ, නීති විරෝධී ව්‍යාපාර සහ බදු පැහැර හැරීම තමයි කළු සල්ලි උපයන ප්‍රධාන මාධ්‍යයන් තුන.  මේ කළු සල්ලි ප්‍රසිද්ධ කරන්න බැරි නිසා බොහෝ විට තිබෙන්නේ මුදල් නෝට්ටු විදියට.  නැතිනම් රත්රන්, මැණික් සහ දියමන්ති විධියට.  මේ කළු සල්ලි මුදල් පද්ධතියට ගෙන ඒමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අපූරු උපායක් යෙදුවා.  මීට සති දෙකකට පෙර ඔහු ඉන්දියාවේ සංසරණයේ පවතින රු500/- සහ රු 1000/- නෝට්ටු තහනම් කළා.  දැන් පෙට්ටිගමේ සඟවා තිබෙන කෝටි ගණන් මුදල් නෝට්ටු බැංකුවට භාර දී අළුත් නෝට්ටු ගත යුතුයි. ලංකාවේ කළු සල්ලි තිබෙන්නේ රාජපක්ෂවරු ගාව ද නැතිනම් මහ බැංකු හොරු ගාව ද කියා සොයා ගන්න ලංකාවේ රු5,000/- නෝට්ටුව තහනම් කළ යුතුයි අපි යෝජනා කරනවා.  එවිට කළු සල්ලි වගේම ඒවායේ අයිතිකාරයෝත් රටටම හඳුනා ගන්න පුළුවන්.  මේක ලංකාවට අළුත් අත්දැකීමක් නොවේ.  1973 දී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන් එම් පෙරේරා ඒ යුගයේ තිබුණු ඉහළම මුදල් නෝට්ටුව වූ රු100/- තහනම් කළා.  එයින් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුණා.  නමුත් බොහෝ විට කළු සල්ලි ඉතිරි කර තිබෙන්නේ මැණික්, රත්රන් සහ දියමන්ති විධියටයි.  ඒ නිසා අඩුම ගණනේ රුපියල් ලක්ෂ 10ට වැඩි රන්, මුතු, මැණික් සහ දියමන්ති මිළ දී ගැනීම් පිලිබඳ විකුණන අය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු යවන ක්‍රමයක් සැකසිය යුතුයි.  මේ කිසිවක් සොරකම් කළ රාජ්‍ය දේපල අත්පත් කර ගැනීමේ කාර්ය සාධක බලකාය කරන්නේ නෑ.  ඒ අය කිඹුලාට කසාද යෝජනා ගෙන එමින් අලි කුණ කෑමට ගඟෙන් එගොඩ වුණු නරියා වගේ සොරකම් කළ වත්කම් ගැන කියමින් ලෝකය පුරා සංචාරය කරනවා " යනුවෙන් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad