සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්

සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්
ප්ලාස්ටික්, පොලිතීන් හා විද්‍යුත් අපද්‍රව්‍ය නිවාරණ සතියේදී එම අපද්‍රව්‍ය ටොන් 498ක් එකතු වූ බවත් ඉන් ටොන් 427.7ක්  විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය බවත් මධ්‍යම පරිසර අධිකාරය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ, පසුගිය මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් පළාත් පාලන ආයතන ඇතුළු අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගෙන පැවැත්වූ මෙම නිවාරණ සතියේදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බවයි.

මෙම අපද්‍රව්‍ය අතර විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය ටෝන් 427.7ක් ද පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 71.59ක් ද තිබූ බව සභාපතිවරයා සඳහන් කළේය. එලෙස එකතු කරන ලද අපද්‍රව්‍ය නිසි කළමණාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මුල්‍ය සහයෙන් පවත්වාගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන, හොල්සිම් සිමෙන්ති සමාගම, ඒසියා රිසයිකලින් ආයතනය හා අදාළ පහසුකම් ඇති ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත භාරදෙන බවද ඔහු කියාසිටියේය.

භාවිතයේ හා බැහැර කිරීමේ ඇති ගැටළු හේතුවෙන් පාරිසරික, සෞඛ්‍ය හා සමාජමය ගැටළුවක් බවට පත්ව ඇති පොලිතින්, ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය පරිසරයට හිතකර ලෙස විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව බැහැර කිරීමේ ක්‍රියාදාමයන් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කළ සභාපතිවරයා නගරයේ සිට ගම දක්වාම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද පැවසීය.
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න